×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා පොලිස් අත්අඩංගුවට  •  දඬුවම් දීමේ පනත සංශෝධනයේ අරමුණ ගැන අග්‍රාමාත්‍යවරියගෙන් පැහැදිළි කිරීමක්  •  අමෙරිකාවේ ක්‍රිස්තු දේවස්ථානයකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙක් මරුට  •  අයිස්වල‍ට වඩා දරුණු මත්ද්‍රව්‍යක් මෙරටදී නිෂ්පාදනය කර ඇති බව හෙළි වෙයි  •  තිලක් වර්මාගේ විශිෂ්ඨ ඉනිම හමුවේ ඉන්දියාව 9 වන වරටත් ආසියාවේ ශූරයින් වෙයි

තිලක් වර්මාගේ විශිෂ්ඨ ඉනිම හමුවේ ඉන්දියාව 9 වන වරටත් ආසියාවේ ශූරයින් වෙයි

Sports  •  Published on: 2025-09-29 02:07:01

තිලක් වර්මාගේ සටන්කාමී පිතිහරඹය හේතුවෙන් පාකිස්ථාන කණ්ඩායම කඩුලු 5කින් පරාජය කර 9 වන වරටත් ආසියානු ශූරයන් ලෙසින් කිරුළු පැළදීමට ඉන්දියාව අද (29) අළුයම සමත් වුණා.

ආසියානු කුසලාන තරඟාවලිය එක්දින හා විස්සයි විස්ස යන ද්විත්ව ආකෘති යටතේ පැවැත්වෙන අතර ලබන විස්සයි විස්ස ලෝක කුසලාන ඉලක්ක කර මෙවර විස්සයි විස්ස ආකෘතියෙන් පැවැත්වුණා.

2016 වසරේ දී විස්සයි විස්ස ආකෘතිය ආසියානු කුසලානයට පළමුවරට පැවැත්වුණා.

අවසන් වරට 2023 වසරේ එක්දින ආකෘතියෙන් පැවැති තරඟාවලිය ජයගැනීමට සමත් වූයේ ඉන්දියාවයි.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඊයේ (28) පැවැති අවසන් මහා තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමු පන්දුවට පහරදීමට පාකිස්ථාන කණ්ඩායමට ආරාධනා කළා.

මෙවර තරඟාවලිය ආරම්භයේ සිටම ඉන්දියාව සහ පාකිස්ථානය කණ්ඩායම් අතර සිදුවූ යම් යම් සිද්ධීන් හේතුවෙන් උණුසුම්කාරී වටපිටාවක් හට ගැනුණා.

කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ දී සහ තරඟය අවසානයේ දී ක්‍රීඩකයින් අතට නොදීම සම්බන්ධව ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි අවධානයක් වුණා.

ඊයේ (29) පැවැති තරඟයේ දීද කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ දී දෙපිලේ නායකයින් අතට අත දීම සිදු නොවුණු අතර කාසියේ වාසිය අවස්ථාවේදී ඉන්දීය නායකයාගෙන් තරඟය පිළිබඳව අදහස් ලබා ගැනීම ඉන්දීය ක්‍රිකට් විස්තර විචාරක රවී ශාස්ත්‍රී සිදු කළ අතර පාකිස්ථාන නායකයාගෙන් අදහස් ලබා ගැනීම Waqar Younis සිදු කරනු ලැබුවා.

ඒ අනුව පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 19යි 1ක් පන්දුවකදී සියලු දෙනා ලකුණු 147කට දැවී ගියා.

පාකිස්ථාන ඉනිමට විශිෂ්ඨ ආරම්භයක් ලබාදුන් Fakhar Zaman සහ Sahibzada Farhan පන්දු 58කදී ලකුණු 84ක සබඳතාවක් ගොඩනැගුවා.

ඔවුන් දෙදෙනා ඉන්දීය ප්‍රබල පන්දු යවන්නනන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළා.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ දැවී යාමෙන් පසුව ඉන්දීය පන්දු යවන්නන් තරඟයේ පාලනය සියතට ගත් අතර ඉන්පසුව පාකිස්ථාන පිතිකරුවන්ට සාර්ථක වීමට ඉඩක් ලැබුණේ නැහැ.

පාකිස්ථානය වෙනුවෙන් Fakhar Zaman ලකුණු 46ක් ද, Sahibzada Farhan ලකුණු 57ක් ලබා ගැනීමට සමත් වුණා.

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ Kuldeep Yadav ලකුණු 30කට කඩුලු 4ක් දවා ගනු ලැබුවා.

ලකුණු 147ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4කදී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

ඉන්දියාව ජයග්‍රහණයේ කඩඉම දක්වා රැගෙන යාමේ නියමුවා වූ තිලක් වර්මා පන්දු 53කදී ලකුණු 69ක් රැස් කිරීමට සමත් වුණා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 4ක් සහ සහ හතරේ පහර 3ක් ඇතුළත්.

ඉන්දීය කණ්ඩායමේ ආරම්භ කඩුලු 3 ලකුණු 20ක් බිඳ වැටුණු අතර ඉන්දීය ඉනිමේ පන්දුවාර 14ක් අවසන් වන විට තරඟයේ ජයග්‍රහණය දෙපිලටම දෝලනය වෙමින් තිබුණා.

තරඟාවලිය පුරා ප්‍රවේගකාරී ආරම්භයක් ලබාදුන් අභිෂේක් ෂර්මා ඊයේ (28) තරඟයේ දී ලකුණු 5කට දැවී ගියා.

කෙසේ වෙතත් 4 වන කඩුල්ලට සංජු සැම්සන් සහ තිලක් වර්මා පන්දු 50කින් ගොඩනැගු ලකුණු 57ක සබඳතා සහ පස්වන කඩුල්ල ශිමාම් ඩුබේ හා තිලක් වර්මා පන්දු 40කින් ගොඩනැගූ ලකුණු 60ක සබඳතාව හේතුවෙන් පාකිස්ථාන කණ්ඩායමේ ආසියානු කුසලාන සිහිනය බොඳ වී ගියා.

පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ශහීන් ෂා අෆ්රිඩි ලකුණු 20කට එක් කඩුල්ලක් ද, ෆහීම් අෂ්රෆ් ලකුණු 29ට කඩුලු 3ක් ලබා ගනු ලැබුවා.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය කරා පහසුවෙන් යාමට හාරිස් රවුෆ් පන්දුවාර 3.4කදී ලබාදුන් ලකුණු 50 සුවිශාල දායකත්වයක් ලැබුණා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම 9 වන වරටත් ආසියානු කුසලානයේ පහස ලබා ගැනීමට සමත් වූණා.

මේ අතර ආසියානු කුසලානයේ ශූරයින් වූ ඉන්දියාව ආසියානු කුසලානය සහ ක්‍රීඩකයින්ට ලබාදෙන සමරු පදක්කම් ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති Mohsin Naqviගෙන් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

අදාළ අවස්ථා දෙක නොමැති ත්‍යාග ප්‍රදානෝත්සවය අවසන් කිරීමට සිදුවීම බොහෝ දෙනාගේ විශේෂ අවධානයක් දිනාගත්තා.

ඉන්පසු ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් ආසියානු කුසලානය නොමැතිව සමූහ ඡායාරූපයකට පෙනී සිටියා.