IPL තරඟවාරයේ ක්‍රීඩක වෙන්දේසියේ දී මතීෂට, වනිඳුට, තීක්ෂණට මොනවා වෙයිද?
Sports • Published on: 2025-10-16 03:42:43
2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් දෙවන හෝ තෙවන සතියේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ දෙසැම්බර් 13 - 15 අතර කාලයේ දී බොහෝ දුරට වෙන්දේසිය පැවැත්වීමට ඉඩ ඇති බවයි.
කෙසේ වෙතත් පසුගිය අදියර දෙකේ දී මෙන්ම මෙවර වෙන්දේසිය ද විදෙස් රටක පවත්වනවා ද නැද්ද යන්න මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.
2023 වසරේ දී වෙන්දේසිය ඩුබායි හිදී පැවැති අතර 2024 වසරේ දී සෞදි අරාබියේ ජෙඩාහිදී පැවැත්වුණා.
ඇතැම් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ බොහෝ විට මෙවර වෙන්දේසිය ඉන්දියාව තුළම පැවැත්වීමට වැඩි ඉඩක් ඇති බවයි.
මේ අතර ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිතවල රඳවා ගන්නා හා නිදහස් කරන ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව නොවැම්බර් 15 වනදා වන විට ප්‍රකාශයට පත්කළ යුතුයි.
අවසන් වූ තරඟ වාරයේ දී අවසන් ස්ථාන දෙකට පත් වූ චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන රෝයල්ස් කණ්ඩායම් විසින් සිය සංචිතවලට විශාල වශයෙන් වෙනස්කම් වීමට වැඩි ඉඩක් ඇති බව සඳහන්.
දීපක් හූදා, රාහුල් ත්‍රිපාති, විජේ ශංකර්, සෑම් කරන් සහ ඩෙවොන් කොන්වේ වැනි ක්‍රීඩකයින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් නිදහස් කිරීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වනවා.
රවිචන්ද්‍රන් අශ්වින් IPL පිටියෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් මේ වන විටත් චෙන්නායි පිලට ඉන්දීය රුපියල් කෝටි 9.75ක මුදලක් ක්‍රීඩකයින් මිලදී ගැනීම වෙනුවෙන් ඉතිරි වී තිබෙනවා.
ඊට අමතරව චෙන්නායි කණ්ඩායමේ නිත්‍ය පන්දු යවන්නෙකු වන මතීෂ පතිරණ සම්බන්ධව එහි හිමිකරුවන් කුමන තීරණයක් ගනු ඇත්දැයි මෙතෙක් වාර්තා වී නැහැ.
මේ අතර සංජු සැම්සන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ඉවත් වීමට වැඩි ඉඩක් ඇති බවට වාර්තා පලවී තිබුණා.
තවද රාජස්ථාන් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් දෙදෙනා වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ මුදා හැරීමට සැලසුම් කර ඇති බවටද කතාබහක් මතුව තිබුණා.
කෙසේ නමුත් ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාර නැවත රාජස්ථාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයට පැමිණීමට සුදානම් වීම සමඟ මෙම අදහස වෙනස් විය හැකි බවට තොරතුරු වාර්තා වනවා.