×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

2026 අයවැය IMF පරාමිතීන්ට අනුකූල දැයි අධ්‍යයනය කරනවා - IMF  •  IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි  •  අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද  •  මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්  •  ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට පාකිස්ථාන හමුදාව

තැපෑලේ නව්‍යකරණයට රුපියල් මිලියන 2,085ක්

Local  •  Published on: 2025-09-13 12:30:13

තැපැල් සේවාවේ අනාගත නව්‍යකරණ සඳහා මෙම වසරේදී රුපියල් මිලියන 2,085ක මුදලක් වෙන් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ උත්සවයට එක් වෙමිනි.

යෝජිත බලපිටිය නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 12.22ක් වන අතර මෙම වර්ෂය නිම වීමට පෙරම මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමටද සැලසුම් කර තිබේ.

මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය යටතේ වෙන් කර ඇති රුපියල් මිලියන 2,058න් තැපැල් දෙපාර්තමේන්තුවට අවශ්‍යවන ලොරි රථ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 250ක මුදලක් ද, කැබ් රථ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 320ක්ද, උප තැපැල් කාර්යාලවලට නවීන තාක්ෂණය එක් කිරීම සඳහා අවශ්‍යවන ටැබ් පරිගණක යන්ත්‍ර 1,500ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 180ක මුදලක්ද වෙන් කර ඇති බවය.

එමෙන්ම පරිගණක යන්ත්‍ර 225ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 75ක මුදලක්ද වෙන්කර ඇති බව පැවසූ අමාතයවරයා සඳහන් කර සිටියේ යම් ප්‍රමාණයකට පුනර්ජණනීය සූර්යබල ශක්තිය ලබා දීමට රුපියල් මිලියන 40ක මුදලක්ද වෙන් කර ඇති බවය.

තවද රුපියල් මිලියන 600ක මුදලක් නව තැපැල් කාර්යාල ඉදිකිරීම සඳහා වෙන් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා ඒ යටතේ නව තැපැල් කාර්යාල 20ක් ඉදි කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

එමෙන්ම තවත් රුපියල් මිලියන 600ක මුදලක් තැපැල් කාර්යාල නවීකරණය කිරීමට වෙන් කර ඇති බවත් මෙරට ඓතිහාසික තැපැල් කාර්යාල වන නුවර, නුවරඑළිය ඇතුළු තැපැල් කාර්යාල 209ක් නවීකරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම සියලු කටයුතු තුළින් මෙරට තැපැල් සේවාව නව මානයකට රැගෙන යනු ඇති බවත් ඒ තුළින් මෙරට ජනතාවට විශිෂ්ට සහ කාර්යක්ෂම තැපැල් සේවාවක් ලබා දීමට හැකියාව ලැබෙනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.