×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ජනපති අනුර සහ ජපාන අගමැති අතර නිල හමුව සිදුවෙයි  •  මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා පොලිස් අත්අඩංගුවට  •  දඬුවම් දීමේ පනත සංශෝධනයේ අරමුණ ගැන අග්‍රාමාත්‍යවරියගෙන් පැහැදිළි කිරීමක්  •  අමෙරිකාවේ ක්‍රිස්තු දේවස්ථානයකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙක් මරුට  •  අයිස්වල‍ට වඩා දරුණු මත්ද්‍රව්‍යක් මෙරටදී නිෂ්පාදනය කර ඇති බව හෙළි වෙයි

කුසල් කලකට පසු දියත් කළ ඉනිමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබයි

Sports  •  Published on: 2025-09-19 02:13:33

කලකට පසුව නැවත ලකුණු අතරට ආ කුසල් මෙන්ඩිස්ගේ සුපිරි පිතිහරඹය හමුවේ 2025 ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ සුපිරි වටයට අපරාජිතව සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (18) හැකි වුණා.

B කාණ්ඩයේ අවසන් තරඟ අඩුබාබි හිදී අද (18) පැවැති මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

තරඟයේ ආරම්භයේ සිට නුවන් තුෂාර ඇෆ්ඝන් පිතිකරුවන්ට එල්ලකළ ආක්‍රමණශීලි පන්දු යැවීම හමුවේ ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වුයේ නැහැ.

තරඟයේ පළමු පන්දුවාර 6දී ඇෆ්ඝනිස්ථානයට ලබාගත හැකි වුයේ ලකුණු 43ක් වන අතර එහිදී ඔවුන්ගේ මුල් පිතිකරුවන් තිදෙනාම දැවී ගොස් තිබුණා.

ඇෆ්ඝන් ඉනිමේ පළමු කඩුලු 3ක දවා ගැනීමට නුවන් තුෂාර සමත් වූ අතර තරඟයේ පන්දුවාර 10ක් අවසාන වන විට ඇෆ්ඝනිස්ථානය කඩුලු 3ක් දැවී ලකුණු 63ක් රැස්කරගෙන සිටියා.

තරඟයේ 17 වන පන්දුවාරය අවසන් වන විට ඇෆ්ඝනිස්ථානය කඩුලු 6ක් දැවී ලකුණු 114ක් ලබා ගෙන සිටියා.

කෙසේ වෙතත් ඇෆ්ඝනිස්ථාන මැද පෙළ ක්‍රීඩක මොහොමඩ් නබීගේ සුපිරි පිතිහරඹය හමුවේ අවසන් පන්දුවාර 3දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත්කලා.

එහිදී තරඟයේ අවසන් භාගයේ දී ඔහු ඇෆ්ඝන් ඉනිමට ලකුණු 55ක් එක් කිරීමට සමත් වුණා.

පන්දු 22කදී නබී වේගවත් ලකුණු 60ක් ලබාගත් අතර ඊට දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් ඇතුළත් වුණා.

ඇෆ්ඝන් ඉනිමේ අවසන් පන්දුවාරය යොමුකළ දුනිත් වෙල්ලාලගේට එරෙහිව ඔහු හයේ පහර 5ක් එල්ල කළ අතර එය ඇෆ්ඝන් ඉනිමට දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට දායක වුණා.

ඒ අනුව පන්දුවාර 20ක් අවසානයේ දී ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමෙ කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 169ක් රැස් කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නුවන් තුෂාර කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.

ආසියානු කුසලානයේ සුපිරි 4 දෙනාගේ වටයට පිවිසීමේ අධිෂ්ඨානයෙන් පිටයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4කදී කඩුලු 4ක් දැවී ලකුණු 171ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 74ක් රැස්කළා.

පන්දු 52කින් ගොඩනැගුණු කුසල්ගේ ඉනිමට හතරේ පහර 10ක් ඇතුළත් වුණා.

ඊට අමතරව කමිඳු මෙන්ඩිස් පන්දු 13කින් නොදැවී ලකුණු 26ක්ද, කුසල් පෙරේරා පන්දු 20කින් ලකුණු 28ක්ද රැස්කිරීමට සමත් වුණා.

කෙසේ නමුත් ලකුණු 170ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තරඟයේ 13 වන පන්දුවාරයේ දී ලකුණු 101ක සීමාව පසුකර යෑම සමඟම ඔවුන්ට සුපිරි 4 දෙනාගේ වටයට යාමට ඉඩකඩ විවර වුණා.

ඇෆ්ඝනිස්ථානය ලැබූ මෙම පරාජය සමඟ ඔවුන් ආසියානු කුසලාන තරඟාවලියෙන් ඉවත් වූ අතර බංග්ලාදේශය සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවා.

මේ අතර ආසියානු කුසලානයේ සුපිරි 4 දෙනාගේ වටයේ තරඟ හෙට (20) සිට ආරම්භ වනවා.

ඒ අනුවට සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරඟය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි.