අම්බලන්ගොඩ වෙඩික්කරුවන් පලා ගිය මෝටර් රථය සොයා ගනී
Local • Published on: 2025-11-04 08:29:27
අම්බලන්ගොඩ නගර සභාවට අයත් ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිටදී අද (04) උදෑසන වෙඩි තැබීමක් සිදුකළ සැකකරුවන් පලා ගිය මෝටර් රථය සොයාගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ කරන්දෙණිය එගොඩවෙල මංසන්ධියේ සැකකරුවන් විසින් දමා ගොස් තිබියදී අහුංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෝටර් රථය සොයාගෙන ඇති බව සඳහන්.
වෙඩික්කරුවන් වෙඩි තැබීම සිදුකර බෙංවල එගොඩවෙල හරහා ගමන් කර ඇති බවට පොලීසිය සැකපළ කරනවා.
අම්බලන්ගොඩ නගර සභාවට අයත් ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිට දී අද (04) පෙරවරු 10.30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබුණා.
යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අයෙක් ඉලක්ක කර මෝටර් රථයක පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර පලා ගොස් තිබූ බව සඳහන්.
වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කළ අතර ඔහුගේ මුහුණට හා පපුවට වෙඩි ප්‍රහාර 4ක් එල්ල වී තිබුණා.
ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා පසුව මියගිය බව සඳහන්.
මෙලෙස මියගිය පුද්ගලයා 54 හැවිරිදි අම්බලන්ගොඩ පෝරඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම පුද්ගලයා පසුගිය පළාත් පාලන මැතිවරණයට සමඟි ජනබලවේගයෙන් අම්බලන්ගොඩ නගර සභාවට තරඟ වැද පරාජයට පත්ව ඇති බවද පොලීසිය පවසනවා.
මුලික පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත්තේ ඔහු විදේශගතව සැඟවී සිටින අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ මස්සිනා බවයි.
පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මුදල් විශුද්ධිකරණය පිළිබඳව අත්අඩංගුවට ගත් කපු මහතා ප්‍රධානත්වය දරන මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ලෙස ඔහු කටයුතු කර ඇති බවද පොලීසිය සඳහන් කරනවා.
ව්‍යාපාරිකයෙකු වන එම පුද්ගලයා ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන දකුණු පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වනවා.