ගෝඨා ගෝ ගමට ප්‍රහාරය - සැක 31ක් හඳුනාගෙන - නීතිපති
Local • Published on: 2025-11-05 02:51:22
2022 මැයි මස 09 වන දා ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගලයට එරෙහිව සිදුකළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් 31 දෙනෙකු හඳුනාගෙන ඇති බව නීතිපතිවරයා ඊයේ (4) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ පැහැදිලි කළේ, එම සැකකරුවන්ට එරෙහිව ඉදිරියේදී අධි චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවයි.
මෙම දැනුම් දීම සිදු කරනු ලැබුවේ, 2022 මැයි මස 09 වන දා සිදු වූ පහරදීම වැළැක්වීමට කටයුතු නොකිරීම හේතුවෙන් තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පෙන්වා දක්වමින් අරගලකරුවන් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් විභාගයට ගැනීමේ අවස්ථාවේදීයි.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල මඩුල්ලක් මෙම පෙත්සම් විභාගය කරනු ලැබුවා.
රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ තවත් කරුණු දක්වමින් සඳහන් කළේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන වලට අභියාචනාධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණද, එය මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අත්හිටුවා ඇති බවත්, එ අනුව විමර්ශන යථා ක්‍රමයට ඉදිරියට පවත්වාගෙන යන බවත්ය.
හඳුනාගත් සැකකරුවන් අතර එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද ඇතුළත් වන බවත් ඔවුන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
ඒ අතර, පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පෙන්වා දුන්නේ, පොලීසිය අකර්මණ්‍ය ලෙස කටයුතු කිරීම නිසා මෙම අවාසනාවන්ත සිද්ධිය ඇතිවූ බවයි.
සිද්ධිය සිදුවූ අවස්ථාවේ භූමියේ ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් සහ ජල ප්‍රහාරක රථ පවතින අතරත්, ඒවා නිසි පරිදි ක්‍රියාවට නංවා නොතිබූ බවත් එයට පිළිතුරු ලෙස රජයේ නීතිඥවරයා පවසා තිබෙනවා.
මෙම අවස්ථාව සම්බන්ධයෙන් එවක භූමියේ සිටි ජ්‍යෙෂ්ඨම පොලිස් නිලධාරියා වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිවද චෝදනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද රජයේ නීතිඥවරයා සඳහන් කළා.
දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා අධිකරණය හමුවේ කියා සිටියේ, නීතිපතිවරයා විසින් එම නඩුව ගොනු කිරීමට සූදානම් වන අවස්ථාවේ මෙම පෙත්සම් විභාගයට ගැනීම අධික අගතියක් වන බවයි.
අපරාධ නඩු කටයුතු සිදුවන ආකාරය අවබෝධ කර ගැනීමෙන් පසුව මෙම පෙත්සම් සලකා බැලීම යෝග්‍ය බවද ඔහු මෙහිදී යෝජනා කර තිබෙනවා.
මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මේ පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබුවා.
මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ඇතුළු රජයේ නායකයින් කිහිප දෙනෙකු නම් කර තිබුණද, ඔවුන්ට එරෙහිව අපරාධ නඩු ගොනු නොකිරීම නිසා ඔවුන් පිළිබඳ පෙත්සම් පවත්වාගෙන නොයාමට අධිකරණය හමුවේ පාර්ශවකරුවන් එකඟ වී තිබෙනවා.
එමෙන්ම හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක්ද මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බවද වාර්තා වනවා.