×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

2026 අයවැය IMF පරාමිතීන්ට අනුකූල දැයි අධ්‍යයනය කරනවා - IMF  •  IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි  •  අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද  •  මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්  •  ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට පාකිස්ථාන හමුදාව

විදුලිබලේට සද්දේ දමා පොලීසියේ ඩෙගා නැටු මාලිමාවේ අයියා මලෝ අත්අඩංගුවට

Local  •  Published on: 2025-11-05 11:15:36

විදුලිබල මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරය පෑමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදා ගැනීමට උත්සාහ ගත් බව කියන හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිඟුරක්ගොඩ පොලීසිය පැවසුවේ මෙම සැකකාර මන්ත්‍රීවරයා සිය සහෝදරයා සහ තවත් අයෙක් නිත්‍යානුකූල අත්අඩංගුවෙන් මුදවා ගැනීම සඳහා උත්සාහ කරමින් පොලීසිය තුළ කලහාකාරී ලෙස හැසිරී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇති බවයි.

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රී යටියල්පතාන දකුණ, හිඟුරක්ගොඩ පදිංචි කේ. ඩබ්.එස්. එස්. උදයකුමාර (44) නමැත්තෙක් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙම සැකකරුගේ සහෝදරයා විදුලිබල මණ්ඩලයේ සේවකයින් දෙදෙනකුගේ රාජකාරියට බාධා කරමින් සාපරාධි බලහත්කාරය පෑම පිළිබඳව පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.

විදුලි බිල් නොගෙවීම මත මන්ත්‍රීවරයාගේ සොහොයුරාගේ නිවසේ විදුලිය විසන්ධි කිරීමට ආ විදුලිබල මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුට තර්ජනය කර ඔවුන්ගේ රාජකාරියට බාධාකර නිලධාරීන් පැමිණි යතුරු පැදියට අනර්ථයක් සිදු කිරීමේ චෝදනාවට මන්ත්‍රීවරයාගේ සොහොයුරා හිඟුරක්ගොඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අනතුරුව එම සැකකරු පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී ඔහුගේ සුවදුක් බැලීමට පැමිණි සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පොලීසියේ උප සේවයේ සිටි පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු සමඟ කළහාකාරී ලෙස හැසිරී නිලධාරීන්ට බැන තර්ජනය කර ඇති බව පොලීසිය පවසනවා.

හිඟුරක්ගොඩ ‍පොලිසිය සඳහන් කළේ විදුලිබල මණ්ඩලයේ සේවකයින් දෙදෙනා මේ සම්බන්ධව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සිය සහෝදරයා බැලීමට පොලීසියට ගිය සැකකාර මන්ත්‍රීවරයා රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකුගේ ජංගම දුරකථනය ද උදුරාගෙන ඇති බවද වාර්තා වනවා.

මේ අනුව සැකකාර මන්ත්‍රීවරයා නිත්‍යානුකූල අත්අඩංගුවේ සිටින සැකකරුවෙකු මුදවා ගැනීම සඳහා උත්හාස කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන හිඟුරක්ගොඩ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී හෙළිව ඇත්තේ ඔහු මද්‍යසාර භාවිත කර ඇති බවට වාර්තාව ලැබුණු බවයි.

සැකකරු හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.