×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

2026 අයවැය IMF පරාමිතීන්ට අනුකූල දැයි අධ්‍යයනය කරනවා - IMF  •  IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි  •  අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද  •  මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්  •  ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට පාකිස්ථාන හමුදාව

NPP මන්ත්‍රීවරිය කොස්ගොඩ සුජීගේ නෑදෑයෝ - විදුහල්පති සැමියා රඳවාගෙන ප්‍රශ්න කරන්නත් අවසර

Local  •  Published on: 2025-11-06 10:21:25

අනුරාධපුර ප්‍රදේශයේ දී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳ වන ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රී දිස්නා නෙරංජලා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම අපරාධකරුවකු වන කොස්ගොඩ සුජීගේ ඥාතිවරියක බව පොලීසිය පවසනවා.

ඔවුන් සඳහන් කළේ හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ දේපළ පිළිබඳව විමර්ශනයක් ද ආරම්භ කරන බවයි.

ජාතික ජනබලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රී දිස්නා නෙරංජලාගේ නැමැත්තියගේ සැමියා ඊයේ (05) මෙලෙස අත්අඩංගුවට ගැනුණා.

මේ අතර අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේ දී පසුගිය 29 වනදා ඉපලෝගම පොලීසිය මඟින් තරුණයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින අතරවාරයේ දී ඔහුගේ සුවදුක් බැලීමට පැමිණි හිතවතෙකුට ප්‍රකාශ කර ඇත්තේ සිය නිවසේ හෙරොයින් පාර්සලයක් ඇති බවයි.

එය නිවසට ආසන්න වැවක් ආශ්‍රිතව සඟවන ලෙස සැකකරු සිය සගයාට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

මේ අනුව සගයා එය රැගෙන ගොස් සඟවා ඇති අතර ඒ අතරවාරයේ දී සැකකරු සිය පියාට පවසා ඇත්තේ එම මත්ද්‍රව්‍ය තොගය සගයාගෙන් නැවත ලබාගෙන නිවස පිටුපස සඟවන ලෙසයි.

රුපියල් කෝටි 2කට වැඩි හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1කට අධික ප්‍රමාණයක් පාර්සලය තුළ ඇති බැවින් එම හිතවතා එය සොරා ගැනීමට ද ඉඩ ඇති බව එහිදී සැකකරු සිය පියාට පවසා ඇති බව පොලීසිය පවසනවා.

මේ අනුව අදාළ සැකකරුගේ පියා එම හෙරොයින් තොගය සැඟවූ සගයා ලවාම එය නැවත ගෙන්වාගෙන ගල්නෑවේ පිහිටි සිය නිවස පසුපස වළදමා තිබෙනවා.

පසුව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් අනුව අදාළ සගයා පළමුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සැඟවූ මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරුව හෙළිව ඇති බව සඳහන්.

පොලීසිය පවසන්නේ නිවස පසුපස සඟවා තිබූ හෙරොයින් පාර්සලය සොයා ගැනුණු අතර කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 185යි මිලිග්‍රෑම් 400ක බරකින් යුත් හෙරොයින් තොගයක් එහි තිබූ බවයි.

අනතුරුව පොලිසිය සැකකාර පියා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රදේශයේ පිහිටි රජයේ විදුහලක විදුහල්පතිවරයා බව හෙළිව තිබෙනවා.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ බිරිඳ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරියක වන දිස්නා නෙරංජලා නැමැත්තිය බවයි.

ඒ අනුව අදාළ මන්ත්‍රීවරියගේ පෑලියගොඩ පිහිටි නිවසක් ද ඊයේ (05) පස්වරුවේ පොලීසිය විසින් පරික්ෂාවට ලක්කළ ද එහි තිබී කිසිඳු සැක කටයුතු දෙයක් හමුවී නැහැ.

මේ අතර අනුරාධපුරය ප්‍රදේශයේ දී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා ලබන 12 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබාදී තිබෙනවා.

සැකකාර පුද්ගලයා අද (06) දහවල් අනුරාධපුර පොලීසිය විසින් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

මෙහිදී අධිකරණය සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලයට මෙලෙස අවසර ලබාදී ඇති බව සඳහන්.

ඔවුන්ගේ දේපළ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද පොලිසිය පැවසුවා.