2026 අයවැය අද පාර්ලිමේන්තුවට
Local • Published on: 2025-11-07 02:26:09
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව අද (07) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (07) පස්වරු 01.30ට අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අනුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය හෙට (08) සිට දෙසැම්බර් මස 5 දින දක්වා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවා.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 වනදා සිට දින 17ක් පැවැත්වෙනවා.
ඉන්පසුව අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදු කිරිමට නියමිතයි.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.
2026 වසරේ රජයේ සමස්ථ වියදම රුපියල් බිලියන 4434ක් වනවා.
ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණය මුදල් අමාත්‍යාංශයට වෙන් කර තිබෙනවා.
එම මුදල් රුපියල් බිලියන 634කි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 596ක් වෙන්කර ඇති අතර පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 618ක් වෙන් කර තිබෙනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 554ක් වෙන්කර ඇති අතර ආරක්ෂක අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 455කි.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 301ක් වෙන්කර තිබෙන අතර ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 11ක් වෙන්කර තිබෙනවා.
එය 2025 වසරේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා වෙන්කර තිබූ රුපියල් බිලියන 2,7ක මුදලට වඩා බිලියන 8ක පමණ වැඩිවීමකි.
ප්‍රධාන වශයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේ දී රුපියල් බිලියන 8.29ක මුදලක් වෙන්කර තිබීම හේතුවෙන් මෙලෙස වැය ශීර්ෂය ඉහළ යාමට හේතු වන බව සඳහන් වනවා.
තවද 2026 විසර්ජන පනත කෙටුම්පතින් විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 488ක් වෙන් කර තිබෙනවා.
මේ අතර 2026 වර්ෂය සඳහා වියදම් පියවා ගැනීමේ දී දේශීය හා විදේශීය වශයෙන් ලබාගත හැකි උපරිම ණය සීමාව රුපියල් බිලියන 3800ක් ලෙස දක්වා තිබෙනවා.
එය නොඉක්ම විය යුතු බවද විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන් වනවා.