×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

2026 අයවැය IMF පරාමිතීන්ට අනුකූල දැයි අධ්‍යයනය කරනවා - IMF  •  IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි  •  අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද  •  මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්  •  ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට පාකිස්ථාන හමුදාව

ඊශ්‍රායලයේ විදෙස් සංක්‍රමණිකයින්ට විශේෂ නිවේදනයක්

Local  •  Published on: 2025-11-07 06:04:29

ඊශ්‍රායලයේ සේවය කරන විදෙස් සංක්‍රමණිකයින් ඉලක්ක කර රසායනික ද්‍රව්‍ය මුසු ජල ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී තිබෙනවා.

දින කිහිපයක සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම ජලය මුසු රසායනික ද්‍රව්‍ය ප්‍රහාරයන් පිළිබඳව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ කුඩා පිරිසකගේ සැදුම්ලත් කණ්ඩායම් විසින් තනිව ගමන් ගන්නා විදේශීය සංක්‍රමණික සේවකයින් ඉලක්ක කර දියරමය ප්‍රහාර දියත් කර ඇති බවත් එලෙස ප්‍රහාරයට ලක්වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බවත්ය.

මේ අනුව ඒ සම්බන්ධව ඊශ්‍රායලයේ විදේශ අමාත්‍යංශය හා ජනගහන හා ආගමන අධිකාරිය හෙවත් පිබා (PIBA) ආයතනය දැනුම්වත් කර ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශ සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳව විධිමත් පියවර ගන්නා මෙන් ඉල්ලා සිටි බවද එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරනවා.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සඳහා එක්වී සිටි වයස අවුරුදු 13ත් 19ත් අතරේ පසුවන තරුණයින් 5 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන දින 6ක් බන්ධනාගාර ගත කර තිබෙනවා.

තවද අනෙක් සිද්ධීන් පිළිබඳව CCTV කැමරා මඟින් ලබාගත් තොරතුරු ඔස්සේ එරට ආරක්ෂක අංශ පරීක්ෂණ සිදුකරන බවද වාර්තා වනවා.

මෙම තත්ත්වය සම්බන්ධව ඊශ්‍රායල ආරක්ෂක අංශවල ද අවධානය යොමුව තිබෙනවා.

මේ අනුව තත්ත්වය සමනය වන තෙක් වැටුප් ශ්‍රී ලංකාවට යැවීමට ගමන් කිරීමේ දී හැකි සෑම අවස්ථාවකදීම කණ්ඩායමක් ලෙස ගමන් කිරීම, තමන් සතු මුදල් පසුම්බිය හා ආභරණ ආදිය සුරක්ෂිතව තබාගෙන ගමන් බිමන් යාම, දුරකථන ආරක්ෂිතව තබා ගැනීම හා මාර්ගවල ගමන් කරන විට දුරකථන භාවිතා නොකරන ලෙස ඊශ්‍රායල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඊට අමතරව ඕනෑම හදිසි අවස්ථාවක ඊශ්‍රායල් පොලිසියේ සිවිල් කටයුතු පිළිබඳව හදිසි අංකය වන අංක 100 අමතා සිදුවීම හා තමන් සිටින ස්ථානයේ තොරතුරු ඔවුන්ට ලබාදීම සිදුකරන ලෙසද තානාපති කාර්යාලය ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ ප්‍රතිකාර අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඊශ්‍රායල ගිලන් රථ සේවාව සඳහා ඇමතීමට අංක 101  භාවිතා කිරීම මෙන්ම ඕනෑම හදිසි උපකාරයක් සඳහා තානාපති කාර්යාල ක්ෂණික ඇමතුම් අංකය අමතන ලෙසයි.