×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

2026 අයවැය IMF පරාමිතීන්ට අනුකූල දැයි අධ්‍යයනය කරනවා - IMF  •  IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි  •  අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද  •  මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්  •  ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට පාකිස්ථාන හමුදාව

ශ්‍රී ලංකා පාකිස්ථාන තරඟාවලියේ ඉතිරි තරඟ දෙකේ දින වෙනස් වෙයි

Local  •  Published on: 2025-11-13 02:14:10

පාකිස්තානයේ පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින තරඟය අද (13) දිනයේ නොපැවැත්වෙන බව වාර්තා වනවා.

ඒ අනුව දෙවන එක්දින තරඟය හෙට (14) දිනයේ පැවැත්වීමට නියමිත බව සඳහන්.

තෙවන එක්දින ක්‍රිකට් තරඟය ලබන 16 වනදා පැවැත්වීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර මේ දිනවල පැවැත්වෙන තරඟ 3කින් යුත් එක්දින ක්‍රිකට් තරඟාවලියට මතුව ඇති අර්බුධකාරී වාතාවරණය ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

දෙරට අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය පැවැත්වීමට විනාඩි කිහිපයකට පෙර ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කිරීමත් සමඟ මෙම අර්බුදය මතු වුණා.

මේ අනුව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් කිහිපදෙනෙක් ආරක්ෂක ගැටළු මත නැවත මෙරටට පැමිණීමට ඉල්ලීමක් කළ බව කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් ඊයේ (12) උදෑසන තමන් වෙත දැන්වූ බවයි.

මෙම තත්ත්වය සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම ක්‍රියාත්මක වී ක්‍රීඩකයින් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

තවද සෑම අයෙකගේම ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය (PCB) සහ අදාළ බලධාරීන් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් සියලු ගැටළු නිසි ලෙස විසඳන බවට ඔවුන් සහතික වූ බව ක්‍රිකට් ආයතනය පවසනවා.

මෙම තත්ත්වය තුළ තරඟාවලිය සැලසුම්කල පරිදි අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සියලුම ක්‍රීඩකයින්ට, සහායක කාර්ය මණ්ඩලයට සහ කණ්ඩායම් කළමනාකාරීත්වයට උපදෙස් දී තිබෙනවා.

කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනය නිකුත් කළ නියෝගය නොතකා කණ්ඩායමේ ඕනෑම ක්‍රීඩකයෙකු හෝ සාමාජිකයෙකු ශ්‍රී ලංකාවට ආපසු ඒමට තීරණය කළහොත්, තරඟාවලිය බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම ඊට ආදේශක ක්‍රීඩකයින් යොමු කරන බවද ක්‍රිකට් ආයතනය පවසනවා.

මේ අනුව ක්‍රිකට් ආයතනයේ නියෝග නොතකා කිසියම් ක්‍රීඩකයෙකු හෝ සහායක කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ආපසු පැමිණියහොත් ඔවුන් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවද සිය නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා සිටිනවා.