ප්‍රභූ ආරක්ෂාව ගැන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

Local • Published on: 2025-09-21 12:41:13
ප්‍රභූ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර ඇති පුද්ගලයින් නිවැරදිව හඳුනා ගැනීමට පියවර ගන්නා ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා එම නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව Sunday Times පුවත්පත වාර්තා කරනවා.
මෙමඟින් අපරාධකරුවන් හෝ රැඩිකල් කොටස් ආරක්ෂක හමුදා නිල ඇඳුම්වලින් සැරසී නීති විරෝධී ක්‍රියාවන් සිදු කිරීමට දරන උත්සාහයන් වැලැක්වීම ප්‍රධාන අරමුණ වී තිබෙනවා.
පොලිස්පතිවරයා මෙම සතියේ පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යවන ලද අභ්‍යන්තර චක්‍රලේඛයක මේ බව සඳහන් කර ඇත.
ප්‍රභූ ආරක්ෂාවට ඇති වත්මන් තර්ජන සලකා බැලීමේ දී ත්‍රිවිධ හමුදාවේ ශ්‍රී ලංකා පොලීසියේ හෝ වෙනත් ආයතනවල නිල ඇඳුමින් සැරසුණු අපරාධකරුවෙකු හෝ ප්‍රචණ්ඩකාරී පුද්ගලයෙකු ප්‍රභූන්වරුන් සහභාගී වන උත්සවලට හෝ අවස්ථාවන්ට ඇතුළු වී අපරාධයක් හෝ ජීවිත තර්ජනයක් සිදු විය හැකි බවද පොලිස්පතිවරයා එම චක්‍රලේඛයේ පෙන්වා දී තිබෙනවා.
එම චක්‍රලේඛයෙන් අවධාරණය කරන්නේ මේ හේතුවෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අමාත්‍යවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහභාගී වන උත්සවල ආරක්ෂාව සහ රථවාහන පාලනය වැනි අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා ඔවුන් අනුයුක්ත කරන අවස්ථාවේ දී ආරක්ෂක හමුදා නිල ඇඳුම් ඇඳ සිටින අය නිවැරදිව හඳුනා ගැනීමට පියවර ගැනීම අත්‍යාවශ්‍ය බවයි.
ඒ අනුව එවැනි උත්සව සඳහා රාජකාරි සඳහා අනුයුක්ත කිරීමට නියමිත නිලධාරීන් කල්තියා නිවැරදිව හඳුනා ගැනීම ඉතා වැදගත් බවද පොලිස්පතිවරයා අවධාරණය කරනවා.
තවද අදාළ චක්‍රලේඛයෙන් පොලිස්පතිවරයා සඳහන් කරන්නේ විශේෂ රාජකාරී අවස්ථාවන්හි ආරක්ෂක කලාපවල නිලධාරීන් හඳුනා ගැනීම සහ වෙන්කර හඳුනා ගැනීම විවිධ වර්ණවලින් යුත් අත්පලදනා, ලාංඡන හෝ වෙනත් සංකේත නිකුත් කිරීමේ දී එම කාර්ය පෙරට වඩා වැඩි අවධානයකින් සිදු කළ යුතු බවයි.
නීතිඥයෙකු ලෙස වෙස්වලාගත් තුවක්කුකරුවෙකු අධිකරණ ශාලාවකදී සැකකරුවෙකු ඝාතනය කළ මෑත කාලීන සිදුවීම සැලකිල්ලට ගනිමින් මෙම කාරණය නොසලකා හැරිය නොහැකි බවද පොලිස්පතිවරයා නිලධාරීන්ට සිහි කැඳවීමක් සිදු කර තිබෙනවා.