×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

සිංහ කොල්ලන් ඉදිරියේ බංගලි කොටි දමනය වෙයි

Sports  •  Published on: 2025-09-14 02:18:50

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (13) පැවැති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක පහසු ජයක් ලැබීමට සමත් වුණා.

අබුඩාබි හිදී පැවැති මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළා.

මේ අනුව බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ දීම දවා ගැනීමට නුවන් තුෂාර සමත් වුණා.

පසුව ක්‍රියාත්මක වූ දුෂ්මන්ත චමීර දෙවන පන්දුවාරයේ දී හොසේන් එමොන් දවා ගනිමින් බංග්ලාදේශ පිතිකරුවන් වෙත දැඩි පීඩනයක් එල්ල කළා.

කමිල් මිෂාරගේ සුපිරි පන්දු රැකීම හමුවේ Towhid Hridoy කඩුල්ල බිඳ වැටුණු අතර බංග්ලාදේශ කණ්ඩායමේ නායක ලිටන් දාස් වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

බංග්ලාදේශ පිලේ මුල් කඩුලු 5ක් ලකුණු 53ක් තුළ බිඳ වැටුණ ද ජෙකර් අලී සහ සමීම් හොසේන් බංග්ලාදේශ ඉනිම ගෞරවන්විත ලකුණු පුවරුවක් කරා රැගෙන ගියා.

මේ අනුව බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 5ක දැවී ලකුණු 139ක් රැස් කිරීමට සමත් වුණා.

ලකුණු 140ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 04ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 140ක් ලබා රැස් කරමින් සිය ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු කිරීමට කරගනු ලැබුවා.

ශ්‍රී ලංකා ඉනිමේ දී විශිෂ්ඨ පිතිහරඹයක නිරවූ පැතුම් නිස්සංක ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වුණා.

එම ඉනිමත් සමග පැතුම් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ලකුණු 2000ක කඩඉමට පැමිණීමට හැකි වුණා.

මේ සමඟ ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ එම කඩඉමට ළඟා වූ තෙවන ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්වීමට පැතුම් නිස්සංකහට හැකිවිය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිල් මිෂාර නොදැවී ලකුණු 46ක් රැස්කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ දී විස්සයි විස්ස තරඟයකදී මුණගැසුණු තෙවන අවස්ථාව ද මෙය වනවා.

මීට පෙර පැවැති තරඟ දෙක සාජා හා ඩුබායි හිදී පැවැති අතර එම තරඟ දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මේ අනුව කණ්ඩායම් දෙකම අබුඩාබි හිදී විස්සයි විස්ස ක්‍රිකට් තරඟයකදී මුහුණට මුහුණ හමුවූ පළමු අවස්ථාව ද මෙය වන අතර එම තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම ජයග්‍රහණය සමඟ B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණීමට හැකි වුණා.