×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

එකතුවට බාධාව මම නම්, පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන්න සුදානම් - රනිල් වික්‍රමසිංහ

Local  •  Published on: 2025-12-18 02:02:54

එක්සත් ජාතික පක්ෂයේ සහ සමඟි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සුදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (17) පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දීයි.

එජාපය සහ සජබය අතර සන්ධාන ගතවීමේ සාකච්ඡා මේ දිනවල පැවැත්වෙනවා.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, මහලේකම් තලතා අතුකෝරළ, ජාතික සංවිධායක සාගල රත්නායක මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එම කමිටුවට පත් කර තිබෙනවා.

සමඟි ජන බලවේග පාර්ශවයේ කටයුතු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙහෙයවනු ලැබුවා.

කෙසේ වෙතත් එම සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව නිල වාර්තාවක් තවමත් තමන්ට ලැබී නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මඬලට දැනුම් දී තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ එම සාකච්ඡා ඉක්මණින් අවසන් කළ යුතුව ඇති බවත් තවදුරටත් මන්දගාමීව ඇදගෙන යාමට කාලයක් නොමැති බවත්ය.

එළැඹෙන වසරේ සිට විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වෙමින් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජනමතයක් ගොඩනැගිය යුතු බැවින් එම සාකච්ඡා කඩිනම් කරන ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු විය යුතු යැයි අදාළ සාකච්ඡාවලදී එකඟතාවයකට පැමිණි එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊට කැමැත්ත පළකරනවා නම් තමන්ට එය ගැටළුවක් නොවන බවද ඔහු මෙහිදී ප්‍රකාශ කර ඇත.

හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වෙනවාට තමන් කැමැති බවයි.

සන්ධාන සාකච්ඡාවලදී රනිල් නායකත්වයෙන් ඉවත් වී සජිත් හෝ වෙනත් අයෙකුට නායකත්වය ලබාදිය යුතු යැයි යෝජනාවක් පැමිණියහොත් ඊට කෘත්‍යාධිකාරී මණ්ඩලය කැමැති නම් තමන්ට කිසිඳු ගැටළුවක් නොමැති බව හිටපු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එවැනි එකතුවක් සඳහා තමා ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සුදානම් බවයි.

" මම පක්ෂ නායකයා ලෙස බොහෝ කල් හිටියා. රටේ ජනාධිපති වුණා. යන්න පුළුවන් ඉහළම තැනට ගිහින් ඉවරයි.ඒ වගේම රට අසීරුම මොහොතකට පත් වූ අවස්ථාවේ රට බාරගෙන ඉහළට ඔසවා තබන්නට කටයුතු කළා.ඒ නිසා මේ අත්හැරීම මට ගැටලුවක් නොවේ. හැබැයි මෙය ඉක්මනින්ම ඉවර කළ යුතුයි"