×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

රන්වලගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

Local  •  Published on: 2025-12-20 09:54:00

තමන් පැදවූ ජීප් රථයේ ගැටී තුවාල ලැබුවන්ට සානුකම්පිත දීමනාවක් ලෙස මුදල් ලබාදීමට කැමති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඊයේ (19) අධිකරණයට දැනුම් දුන්නද තුවාල ලැබූ පාර්ශවය එම මුදල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළා.

මේ අතර අදාළ නීති කෘත්‍යය ඊයේ (19) කැඳවූ අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද මහර අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා පැදවූ ජීප් රථය දෙසැම්බර් 11 වනදා සපුගස්කන්ද ප්‍රදේශයේ දී තවත් මෝටර් රථයක සහ යතුරු පැදියක ගැටීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ (19) මහර අංක 2 අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙහිදී සැකකාර මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම මන්ත්‍රීවරයා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ 76 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බවට වූ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළා.

මෙහිදී අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා විවෘත අධිකරණයේදී මෙලෙස ප්‍රශ්න කරනු ලැබුවා.

"දැන් මේ සිදුවීමේදී තුවාලවෙලා තියෙන්නේ සැකකරුට ද, නැතිනම් වින්දිතයින්ටද?"

ඊට පිළිතුරු ලබාදුන් සපුගස්කන්ද පොලිසියේ විමර්ශන නිලධාරින් "මෝටර් රථයේ ගමන් කළ තැනැත්තන්ට ස්වාමිනි, දැනටත් රෝහල්ගතව සිටින කාත්තාවගේ වම් කකුළ දනහිසට පහළින් කැඩිලා"

"එහෙනම් සැකකරුට පවතින තුවාල මොනවාද?" මෙහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා නැවත ප්‍රශ්න කරනු ලැබුවා.

අදාළ පැනයට පිළිතුරු දෙමින් රන්වල මන්ත්‍රීවරයාගේ නීතිඥවරයා සඳහන් කළේ තම සේවාදායකයාගේ ශාරීරික තත්ත්වය යෝග්‍ය නොවන බව වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇති බැවින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

සැකකරුට ශල්‍ය කර්මයක් සිදු කිරීමට නියමිත බව මෙහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා නැවත ප්‍රශ්න කළා.

ඊට නීතිඥවරයා නැත යනුවෙන් පිළිතුරු දුන්නා.

පසුව අදාළ අනතුරු සම්බන්ධයෙන් විමර්ශනය මෙහෙයවන සපුගස්කන්ද පොලිස් නිලධාරීන් විමර්ශනය පිළිබඳව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසුවේ සැකකාර මන්ත්‍රීවරයා අනතුර සිදුවන අවස්ථාවේ බීමත්ව සිටියේ දැයි සොයා බැලීම සඳහා කොළඹ ජාතික රෝහලේ සිටියදී ලබාගත් රුධිර සාම්පල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවයි.

ඊට අදාළ වාර්තා මෙතෙක් ලැබී නොමැති බව මෙහිදී සපුගස්කන්ද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.

තවද මන්ත්‍රීවරයා පැදවූ ජීප් රථයේ දුර්වල නඩත්තුව හේතුවෙන් තිරංගවල ගැටළුවක් පැවැතිය බවද විමර්ශන නිලධාරීන් සඳහන් කළා.

මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසුවේ අනතුරට රියදුරන් තිදෙනෙක් සම්බන්ධ වුවද, ඉන් සිය සේවාදායකයාගේ ක්‍රියා කලාපය පිළිබඳව පමණක් පොලීසිය විමර්ශන සිදුකිරීම ගැටළු සහගත බවයි.

සිදුවීමට අදාළව මෝටර් රථයේ රියදුරු සහ යතුරුපැදියේ පැදිකරු පිළිබඳව ද විමර්ශන සිදුකළ යුතු බව නීතිඥවරයා විවෘත අධිකරණයේ දී පැවසුවා.

ඊට ප්‍රතිචාර දක්වමින් සපුගස්කන්ද පොලිස් නිලධාරීන් පැවසුවේ ජීප් රථය පැදවූ මන්ත්‍රීවරයා පළමුව හැප්පීම සිදුකර ඇති බවයි.

කෙසේ වෙතත් අනෙක් රියදුරන් දෙදෙනා පිළිබඳව අධිකරණ වෛද්‍ය සාම්පල රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර ඇති බවද සපුගස්කන්ද පොලිස් නිලධාරීන් සඳහන් කළා.

මෙහිදී සිය සේවාදායකයා කැමැත්තෙන් සානුකම්පිත දීමනාවක් ලෙස අනතුරින් තුවාල ලබා මේ වන විට රෝහල්ගත සිටින කාන්තාවට රුපියල් 50000ක් ද, ප්‍රතිකාර ලබා පිටව ගොස් සිටින කුඩා දරුවාට සහ මවට රුපියල් 25000ක් බැගින් ලබාදීමට සුදානම් බව මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට මුදල් ඉදිරිපත් කළා.

කෙසේ වෙතත් අනතුරින් තුවාල ලබා මේ වන විටත් රෝහල්ගතව සිටින කාන්තාවන්ගේ ස්වාමි පුරුෂයා එම මුදල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා සැකකාර අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළා.

තවද රෝහලෙන් පිටවා ආ පසු ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත ගොස් ශාරීරික හා මානසික යෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිටින ලෙස ද නියෝග කළා.

නඩුව නැවත ජනවාරි 16 වැනිදා කැඳවීමට නියමිතයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා රිය අනතුරට ලක්වූ අවස්ථාවේ ඔහු මත්පැන් පානය කර ඇති බවට සනාථ වී නොමැති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඔහුගේ රුධිර සහ මුත්‍රා සාම්පලවලට අදාළව සිදුකළ පරික්ෂණයේදී ඔහු මත්පැන් පානය කර ඇති බවට තහවුරු වී නොමැති බවයි.