නාකොටික් සියලු නිලධාරීන්ගේ වත්කම් බැරකම් ගැන විශේෂ පරීක්ෂාවක්
Local • Published on: 2025-12-21 13:45:54
මත්ද්‍රව්‍ය තොග ප්‍රවාහනය කරන බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටු සම්බන්ධ නිරීක්ෂණය කරන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට පිටස්තර පුද්ගලයින් ඇතුළුවීම සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පද්ධතියට විවිධ IP 57කින් පුද්ගලයින් ඇතුළුවීම් තහවුරු කරගෙන ඇති බවත් මෙම තොරතුරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්වී ඇති බවත්ය.
මත්ද්‍රව්‍ය තොග රැගත් බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටුව පිළිබඳව තොරතුරු නිරීක්ෂණය කරනු ලබන VMS පරික්ෂාව මඟින් පසුගිය කාලයේ අවස්ථා රැසක දී මහා පරිමාණයෙන් මෙරටට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
එවැනි පසුබිමක අදාළ තොරතුරු විමර්ශන නිලධාරීන්ට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්ව ඇති බව තොරතුරු ලැබීම සමඟ පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව විවිධ IP අංක 57කින් පද්ධතියට ඇතුළු වී තොරතුරු ලබාගෙන ඇති පුද්ගලයින් කවුරුන්ද යන්න සොයා ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ අධීක්ෂණය යටතේ මෙම විමර්ශන කටයුතු සිදු කරනු ඇති.
තවද අදාළ VMS පරික්ෂාවට ඇතුළුවීම සඳහා බාහිර පාර්ශවයන්ට නොහැකි වන පරිදි එහි රහස් අංකය වෙනස් කර ඒවා නියෝජ්‍ය පොලිස්පතිට සහ අධ්‍යක්ෂකවරයාට පමණක් ලබාදී ඇති බව වාර්තා වනවා.
මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වන බව ලද තොරතුරු මත පොලිස් මත්ද්‍රව්‍ය නාශයක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරුන් පස් දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට ද කටයුතු කර තිබෙනවා.
මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අයත් සියලු නිලධාරීන්ගෙ වත්කම් බැරකම් පිළිබඳ විශේෂ පරීක්ෂාවක් පොලිස් විශේෂ විමර්ශන කාර්යාංශය විසින් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
දැනටමත් එම ඒකකයේ සේවය කරන නිලධාරීන් 400ක පිරිසකගෙන් දැනට නිලධාරීන් 20 කගේ වත්කම් බැරකම් වාර්තා ලැබී ඇති බවත් සැක සහිත වත්කම් බැරකම් සහිත නිලධාරීන් වෙතොත් වහාම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් ඉවත් කර ඔවුන් පිළිබඳව විමර්ශන පවත්වා වැරදිකරුවන් වුවහොත් දැඩි දඬුවම් ලබාදෙන බවත් පොලීසිය පවසනවා.