ආපදාවෙන් විනාශ වූ නිවාස වෙනුවට නිවාස සංකීර්ණ ඉදි කිරීමට පියවර
Local • Published on: 2025-12-22 11:02:00
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස සඳහා නිවාස සංකීර්ණ ස්ථාපිත කරදීමට සැලසුම් සකස් කරමින් සිටින බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (22) එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
මේ වන විටත් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ඒ සඳහා විකල්ප ඉඩම් හඳුනාගෙන ඇති බවද ඔහු මෙහිදී කියා සිටියා.
"පූර්ණ වශයෙන් හානි වූ නිවාස 6,000කට වඩා තියෙනවා. අර්ධ වශයෙන් හානි වූ නිවාස ලක්ෂයකට වඩා වාර්තා වෙලා තියෙනවා. නිවාස හානි නොවුණත් තවදුරටත් ජීවත්වීමට නොහැකි ප්‍රදේශ තිබෙනවා. අනාරක්ෂිත ප්‍රදේශ තිබෙනවා. තවදුරටත් පදිංචි කිරීමට නොහැකි. මේ කටයුතු අපි පියවරෙන් පියවර අපි කරන්න ලැස්තියි. එහිදී අපි දිස්ත්‍රික් ලේකම්තුමන්ලා හරහා විකල්ප ඉඩම් හඳුනාගෙන තිබෙනවා. ඒ බොහෝමයක් තැන්වල අපි නිවාස සංකීර්ණ ස්ථාපිත කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයත් මේ කටයුත්තේ නියැලිලා ඉන්නවා අවශ්‍ය මූල්‍යම කටයුතු සම්පාදනය කරන්න. අමාත්‍යංශය ලෙස මේ නිවාස සංකීර්ණ සඳහා මූලික සැලසුම් සකස්කරමින් ඉන්නවා ඒ අදාළ නිලධාරීන් අවශ්‍ය ශිල්පීන් සමග සාකච්ඡා කරමින් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා කෙටි කාලයක් තුල මේ ආපදාවෙන් හානි වෙච්ච නිවාසවල ජීවත්වෙච්ච පවුල් සහ ඔවුන්ගේ ජීවිත යථාවත් කරන ගමන්ම නැවත මෙවැනි අපදාවකට මුහුණ නොදෙන්න අධි අවධානම් කළාපවල සිටින ජනතාව වෙනත් ප්‍රදේශවල පදිංචි කරවීමට.