×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

යුක්‍රේන රුසියා යුද්ධය නවත්වන්න සෙලෙන්ස්කි ට්‍රම්ප් හමුවෙයි

Foreign  •  Published on: 2025-12-29 02:50:35

යුක්‍රේනය සහ රුසියාව අතර සාම ගිවිසුමකට එළැඹීමේ අඛණ්ඩ උත්සාහයේ අරමුණ වෙනුවෙන් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව තිබෙනවා.

අමෙරිකාවේ ෆ්ලොරිඩා හි ට්‍රම්ප්ට අයත් මාර්-ඒ-ලාගෝ මන්දිරයේ දී මෙම හමුව සිදුව ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නිවාඩු සති අන්තය හේතුවෙන් ට්‍රම්ප් සිය ජනාධිපති රාජකාරි කටයුතු සඳහා විරාමයක් ලබාදී ඇති බැවින් මෙම මන්දිරයේ ඔවුන් දෙදෙනා මුණ ගැසී ඇති බවයි.

මෙම හමුව සඳහා යුක්‍රේන ජාතික ආරක්ෂක සහ ආරක්ෂක මණ්ඩලයේ ලේකම් රුස්ටම් උමෙරොව් සහ යුක්‍රේන හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇන්ඩ්‍රි නාටෝච් පිරිසක් සහභාගී වී ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව යුක්‍රේන ජනාධිපතිවරයා අමෙරිකානු ජනාධිපතිවරයා හමුවන තුන්වන අවස්ථාව මෙය වනවා.

මේ අනුව පසුගිය පෙබරවාරි මාසයේ හා ආගොස්තු මාසයේ දී යුක්‍රේන ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව තිබෙනවා.

දෙපාර්ශවය අතර පැවැති හමුවෙන් පසුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් යුක්‍රේන ජනාධිපතිවරයා පැවසුවේ රුසියානු යුක්‍රේන සාම සැලැස්මට අමෙරිකානු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවලින් 90%ක් සඳහා යුක්‍රේනය එකඟ වන බවයි.

තවද අමෙරිකානු යුක්‍රේන ආරක්ෂක සහතිකය සමඟ 100%ක් එකඟ බව යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ කල්පවත්නා සාමයක් ළඟා කර ගැනීමේ ප්‍රධාන සන්ධිස්ථානය වෙත ගමන් කළ හැකි බවයි.

යුක්‍රේන ජනාධිපතිවරයා හමුවීමෙන් පසුව ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ යුක්‍රේනය ඉතා නිර්භීත බවත් ඔවුන් දැවැන්ත හානියක් සිදුකරගෙන ඇති බවත්ය.

මේ හේතුවෙන් හැකි ඉක්මණින් ගැටුම් අවසන් කිරීමේ කාලය එළැඹ ඇති බවද ට්‍රම්ප් මෙහිදී පැවසුවා.

තවද යුක්‍රේනයේ සංචාරය කිරීමට තමන් සුදානම් බවත් නමුත් පළමුව ගිවිසුමක් ඇති කර ගැනීමට අවශ්‍ය බවත් අමෙරිකානු ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර තිබෙනවා.

ඊට අමතරව යුක්‍රේනයේ පිහිටි රුසියානු පාලනය යටතේ Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය පිළිබඳව තමා රුසියානු ජනාධිපති පුටින් සමඟ සාකච්ඡා කළ අතර එම බලාගාරයට රුසියාව පහරදී නොමැති බවද ට්‍රම්ප් මෙහිදී සඳහන් කළා.

මෙම හමුව ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් යුද්ධය අවසන් කිරීම සඳහා කොපමණ කාලයක් ගත වේද යන්න අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් ට්‍රම්ප් පවසන්නේ සති කිහිපයක් අවසන් විය හැකි නමුත් තවමත් එය සිදු නොවීමට ද ඉඩ ඇති බවයි.

තවද රුසියාව, අමෙරිකාව සහ යුක්‍රේනය අතර ත්‍රෛපාර්ශ්වික හමුවක් සිදුවනු ඇත්දැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී එය අවශ්‍ය හොඳම වේලාවේදී සිදු විය හැකි බවත් අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.