×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

විකාශන බලපත්‍ර අවශ්‍ය නම් යළි කැඳවිය හැකියි - ඇමති නලින්ද ජයතිස්ස

Local  •  Published on: 2025-12-30 01:55:13

ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් රුපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබාදී ඇත්තේ කොන්දේසිවලට යටත්ව බැවින් යම්කිසි අවස්ථාවක දී එම කොන්දේසි කඩකළහොත් අදාළ රුපවාහිනී නාලිකා සතු බලපත්‍රය නැවත කැඳවීමේ හැකියාව ජනමාධ්‍ය අමාත්‍යවරයා සතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙරට ජනතාවගේ සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය උදෙසා සහ සෞඛ්‍ය තොරතුරු ප්‍රචාරණය සඳහා කටයුතු කළ මාධ්‍යවේදීන්ගේ මෙහෙවර ඇගයීම වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‌යාංශය සංවිධානය කළ සෞඛ්‍ය අඬහැරය - 2025 සෞඛ්‍ය සන්නිවේදකයන් ඇගයීමේ උත්සවයට එක්වෙමින්.

තවද අමාත්‍යවරයා සඳහන් කළේ සෑම රුපවාහිනී නාලිකාවක් සඳහාම විකාශන බලපත්‍රය තාවකාලික බලපත්‍රයක් බවයි.

"මේක සෙල්ලමක් නෙමෙයි. ඔබට වැඩ කරන්න සිදුවෙලා තියෙන්නේ ජනතාවගේ විශ්වාසය, මේ අවකාශයේ තිබෙන සංඛ්‍යාත ආදි සියල්ලමත් එක්ක. අවශ්‍ය නම් සාදිරිස් ගුරුන්නාස්සේ අම්බලන්ගොඩ ඉදලා කොළඹට නාඩගම් පෙට්ටිය අරගෙන ආපු විදියට ප්‍රවෘත්ති වාර්තා කරන්න පුළුවන්. එහෙම ප්‍රවෘත්ති වාර්තා කරන්න බෑ. මේවා විහිළුවට හෝ සෙල්ලමට කරන වැඩ නෙවෙයි. එහෙම විහිළුවක් හෝ සෙල්ලමක් විදියට ගන්න අපි සූදානමුත් නෑ. අපේ රටේ මේ සියලු රූපවාහිනී නාලිකාවලට ලයිසන් එක ලබාදීලා තියෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන්. ඒ ලයිසන් එක ලබාදීලා තිබෙන්නේ තාවකාලිකව. ඒ ලයිසන් එක දෙනකොට කන්ඩිශන් කිහිපයක් තිබෙනවා. මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් හානිදායක ප්‍රවෘත්ති ප්‍රචාරය කළොත් යළි කැදවීමේ බලයක් ජනමාධ්‍ය අමාත්‍යවරයාට තියෙනවා. ජාතික ආරක්ෂාව දාලා තියෙනවා. ජාතික ආර්ථික සම්බන්ධයෙන් කියනවා, මහජන සෞඛ්‍යත් කියනවා. ඒ නිසා මෙතනින් එහාට කවුරුහරි මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් විකෘති සහගන ප්‍රවෘත්ති ප්‍රචාරය කළොත් දැනට අපි කරමින් ඉන්නේ ලියුමක් යවලා ඒක නිවැරදි කරන්න කියන එක විතරයි. අනිවාර්ය වශයෙන්ම මේ ලයිසන් එක ලබා දීමේදී දිලා තියෙන කොන්දේසි බලාත්මක කරනවා. එහෙම නැතුව රටක් ඉදිරියට යන්න බෑ. ඒක කරන්නට ඕනේ. සෞඛ්‍ය සම්බන්ධයෙන් විශ්වාසය රටේ ජනතාවගේ බිඳවැටුනොත් එතනින් එහාට මුකුත් කරන්නට බෑ."