නව සැලසුම් ඔස්සේ එක්ව කටයුතු කරමින් 2026 ජයගමු - ජනපති
Local • Published on: 2025-12-30 15:37:39
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2025 වසරේදී මෙරට රේගු ඉතිහාසයේ ඉහළම ආදායමක් ලබාගෙන තිබෙන බව රේගු අධ්‍යක්ෂ ජනරාල් එස්.පී. අරුක්ගොඩ මහතා පැවසීය.
රේගුව සඳහා අපේක්ෂිත ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 2115 ඉක්මවා, තවත් රුපියල් බිලියන 300කට ආසන්න අතිරික්ත ආදායමක් උපයා ගැනීමට හැකි වී ඇති බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව 2026 වසර අතිරික්ත ආදායමක් සමඟ ආරම්භ කිරීමට හැකි වී තිබේ.
මෙම අදහස් පළ කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදීය.
2025 වසරේ රේගුව ලබාගත් ප්‍රගතිය සහ 2026 වසර සඳහා සකස් කර ඇති නව සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
රටට අවශ්‍ය ආදායම් උපයා දීමට රේගු දෙපාර්තමේන්තුව ඉටු කළ කාර්යභාරය ජනාධිපතිවරයා මෙහිදී විශේෂයෙන් අගය කළ අතර, සමස්ත කාර්ය මණ්ඩලයට ස්තූතිය පළ කළේය.
රේගු කටයුතු ඉදිරියටත් කාර්යක්ෂමව සහ විනිවිදභාවයෙන් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව සඳහන් කළ ජනාධිපතිවරයා, නව සැලසුම් ඔස්සේ එක්ව කටයුතු කරමින් 2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු යනුවෙන්ද ආරාධනා කළේය.
2022 වසරේ ආර්ථික බිඳවැටීමට ප්‍රධාන හේතුව ආදායම් සහ විදේශ මුදල් හිඟය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මේ වන විට එම තත්ත්වය පාලනය කරගනිමින් ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට රජයට හැකි වී ඇති බවද සඳහන් කළේය.
රේගු දෙපාර්තමේන්තුව ආදායම් එකතු කිරීම, වෙළෙඳාම පහසු කිරීම, සමාජ ආරක්ෂණය සහ ආයතනික සංවර්ධනය යන අංශ හතර යටතේ ක්‍රියාත්මක වන අතර, ඒ සම්බන්ධ ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරිණි.
එමෙන්ම රේගු කටයුතු ඩිජිටල්කරණය කිරීම, භාණ්ඩ පරීක්ෂා කිරීමේ පද්ධති නවීකරණය කිරීම, සේවක බඳවා ගැනීම්, පුහුණුව සහ වැටුප් ගැටලු පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, ජනාධිපති ලේකම්වරයා සහ රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය