ලෝකය තවදුරටත් විවෘතව වැළඳගැනීමට සුදානම් - චීන ජනපති
Foreign • Published on: 2025-12-31 14:48:10
2026 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ලෝකවාසී ජනතාව වෙත සුබ පැතුම් එක්කර තිබෙනවා.
බීජිං නුවර සිට සිය නව වසර සුබ පැතුම් පණිවිඩය නිකුත් කළ චීන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, වත්මන් ලෝකයේ ඇතැම් ප්‍රදේශවල තවමත් ගැටුම් සහ අර්බුද පැවතියද, චීනය ඉතිහාසයේ නිවැරදි දිශාව ඔස්සේ ගමන් කරමින් සෙසු රටවල් සමඟ එක්ව ලෝකයේ සාමකාමී සංවර්ධනය සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීමට කැපවී සිටින බවයි.
රටක් ශක්තිමත් වන්නේ පාලක පක්ෂය ශක්තිමත් කිරීමෙන් පමණක් බව සඳහන් කරන ජනාධිපති ෂී ජින්පිං මහතා, දැඩි විනයකින් යුතුව විශ්වාසය ගොඩනඟමින් දූෂණය ඉවත් කර පක්ෂ හා පාලන ආචාරධර්ම අඛණ්ඩව ශක්තිමත් කළ යුතු බවද අවධාරණය කර සිටිනවා.
2026 වසර චීනයේ 15 වන පස් අවුරුදු සැලැස්මේ ආරම්භක වසර බව පෙන්වා දෙන ජනාධිපතිවරයා, ඉහළ ගුණාත්මක සංවර්ධනය, පූර්ණ ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවය පුළුල් කරමින් සමස්ත ජනතාවට පොදු සෞභාග්‍යය උදා කරදීම සඳහා නව පරිච්ඡේදයක් ආරම්භ කරන බවත් සඳහන් කර තිබෙනවා.
ඉහළ මට්ටමකට ළඟා වෙමින් පවතින චීන ආර්ථිකය, 2025 වසරේදී චීන යුවාන් ට්‍රිලියන 140කට ආසන්න වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ලෝකය තවදුරටත් විවෘතව වැළඳගැනීමට චීනය සූදානම් බවද ජනාධිපතිවරයා පවසනවා.
දිගු ගමනක් ඉදිරියට තිබුණද, අධිෂ්ඨානශීලීව, නොපසුබට ධෛර්යෙන් සහ නිරන්තර උත්සාහයෙන් එම මාවතේ ගමන් කරන බව අවධාරණය කරමින්, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා නව වසරට සිය සුබ පැතුම් එක්කර තිබෙනවා.