නවගමුවේ සිදුවූ වෙඩි තැබීම ගැන තවත් තොරතුරු එළියට
Local • Published on: 2026-01-02 03:16:37
නවගමුව කොරතොට මැණිකාගාර ප්‍රදේශයේ දී ඊයේ (01) රාත්‍රියේ තිදෙනෙකුට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධව කරුණු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.
නවගමුව පොලීසිය සඳහන් කළේ මෙම වෙඩි තැබීම කුලී පදනම මත ලබාගත් නිවසක සිටි පුද්ගලයින් තිදෙනෙක් ඉලක්ක කර එල්ල වී ඇති බවයි.
යතුරුපැදියකින් හා ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව හෙළිව ඇත.
නිවසේ නාන කාමරය අසලදී වෙඩි ප්‍රහාරයට ලක්ව සිටි අයෙක් එම ස්ථානයේ දීම මියගොස් තිබෙනවා.
අවුරුදු 20ක් වූ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් තිබුණා.
වෙඩි වැදීමෙන් රෝහල් ගත කර ඇත්තේ අම්බලන්තොට වාඩියගොඩ සහ දෙමටගොඩ ගැවලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
ඔවුන් අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඉන් එක් පුද්ගලයෙකුගේ ශරීරයේ උණ්ඩ 4ක් සහ අනෙක් පුද්ගලයාගේ ශරීරයේ එක් උණ්ඩයක් ඇති බව සඳහන්.
පොලීසිය පැවසුවේ සිද්ධිය වූ ස්ථානයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොපු 15ක් හමුවූ බවයි.
ඊයේ (01) රාත්‍රී 9.30ත් 10ත් අතර කාලයේ දී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.
වෙඩි වැදුණු තරුණයින් තිදෙනා එම කුලී නිවසට මාස එකහාමාරකට පමණ පෙර පදිංචියට පැමිණ ඇති බව සඳහන්.
ඔවුන් තිදෙනා නව වසර උදාවීම නිමිත්තෙන් මත්පැන් සාදයක් පවත්වන අතරවාරයේ දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
පොලීසිය පවසන්නේ යම් පාතාල කණ්ඩායම් දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලීසිය සහ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.