ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළි කරමින් උස්මාන් කවාජා ක්‍රිකට් පිටියට සමු දෙයි
Local • Published on: 2026-01-02 03:52:55
මතභේදාත්මක කරුණු රැසක් හෙළි කරමින් සිඩ්නි හිදී ලබන 4 වනදා ආරම්භ වන අළු බඳුන තරඟාවලියේ අවසන් තරඟයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව උස්මාන් කවාජා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
එම සාකච්ඡාවට ඔහුගේ බිරිද, දියණියන් දෙදෙනා සහ දෙමාපියන් සහභාගී වී සිටියා.
සිය වෘත්තීය ක්‍රිකට් ජීවිතය පුරාම අනෙක් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වඩා තමන්ට වෙනස් ලෙස සැලකු බව ඔහු මෙහිදී කියා සිටියා.
උස්මාන් කවාජා සඳහන් කරන්නේ ඒ ගැන තමා කලකිරීමට හා වේදනාවට පත් වූ බවයි.
රිකී පොන්ටිංගේ සමුගැනීමෙන් පසු ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කැඳවීමක් ලැබූ උස්මාන් කවාජා 2011 වසරේ දී සිය මංගල ටෙස්ට් තරඟය ක්‍රීඩා කළ සිඩ්නි ක්‍රීඩාංගණයේ දීම සිය අවසන් තරඟය ක්‍රීඩා කිරීම සුවිශේෂී වනවා.
පාකිස්ථානයේ උපත ලැබුවෙකු වන කවාජා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වෙනුවෙන් ක්‍රීඩා කළ පළමු මුස්ලිම් ජාතිකයා වනවා.
"මම පාකිස්තානයෙන් ආපු ආඩම්බර මුස්ලිම් කොල්ලෙක්. මම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට කවදාවත් ක්‍රීඩා කරන්නේ නැහැ සමහර අය කිව්වා. දැන් මාව බලන්න.
මට හැම විටම ටිකක් වෙනස් බවක් දැනුණා, මේ වෙනකම් පවා. මම සුදු නොවන ක්‍රීඩකයෙක්. මගේ මතය අනුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම තමයි හොඳම කණ්ඩායම. ඒක අපේ ආඩම්බරය සහ ප්‍රීතිය.
නමුත් මට ගොඩක් තැන්වලදී වෙනස් බවක් දැනුණා, මට සැලකූ ආකාරය වෙනස්. ඒ දේවල් සිදු වූ ආකාරය අනුව වෙනස්.
මට කොන්දේ කැක්කුමක් තිබුණා, ඒක මට පාලනය කරගන්න බැරි දෙයක්. නමුත් මාධ්‍ය සහ හිටපු ක්‍රීඩකයින් මාව විචේචනය කළා.
එයා කණ්ඩායමට කැපවෙලා නැහැ, එයා තමන් ගැන විතරයි. එයා ආත්මාර්ථකාමීයි, එයා පුහුණුවීම් කරන්නේ නෑ. එයා කම්මැලියි වගේ දේවල් කිව්වා. ඒවා හරිම පෞද්ගලිකයි.
මම හිතුවේ මාධ්‍ය, පැරණි ක්‍රීඩකයින් සහ අනෙක් සියල්ලන්ම ඒවා අමතක කරලා කියලා. නමුත් පැහැදිලිවම ඒවා අමතකර කරලා නෑ. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ කිසිවෙකුට එසේ සලකනවා මට දැනිලා නෑ.
මට හිතුනා මට මේක මතු කරන්න ඕනේ කියලා. මට මේ ගැන කතා කරන්න ඕන වුණේ නැහැ, නමුත් මට ඕන ඊළඟ උස්මාන් කවාජාගේ ගමන වෙනස් වෙන්න.
මට ඕන සැමට එක වගේ සලකන්න. එයාලා කවුද කියලා වාර්ගික ආකෘති තියාගන්න එපා. මම ක්‍රීඩා කරන මගේ අනෙකුත් හොඳ ක්‍රිකට් ක්‍රීඩකයන්ට සලකන විදිහටම අනෙක් අයටත් සලකන්න".
39 හැවිරිදි වියේ පසුවන ඔහු ටෙස්ට් තරඟ 87 ඉනිම් 157කදී ලකුණු 6206ක් රැස්කරගෙන සිටිනවා.
43.39ක පිතිකරණ සාමාන්‍යයක් ඇති කවාජා මේ වන විට ශතක 16ක් හා අර්ධ ශතක 28කට හිමිකම් කියනවා.