වෙනිසියුලාවෙන් උස්සන් ගිය නිකොලස් මදුරෝට සහ බිරිඳට අපරාධ නඩු
Foreign • Published on: 2026-01-03 15:43:20
අමෙරිකානු හමුදා භාරයට ගත් වෙනිසියුලානු හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස්ට එරෙහිව නිව්යෝර්ක් දකුණු දිස්ත්‍රික් අධිකරණයේ අපරාධ නඩු පවරා ඇති බව අමෙරිකානු නීතිපති පැම් බොන්ඩි නිල වශයෙන් නිවේදනය කරනවා.
අමෙරිකානු නීතිපතිවරයා පෙන්වා දෙන්නේ මදුරෝ යුවලට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත්‍රස්තවාදය ඇතුළු බරපතළ චෝදනා රැසක් යටතේ අධිචෝදනා ගොනු කර ඇති බවයි.
මේ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම හරහා ත්‍රස්තවාදී කටයුතුවල අනුබල දීම, අමෙරිකානු තුළට විශාල වශයෙන් කොකේන් මත්ද්‍රව්‍ය ගෙන්වීමට කුමන්ත්‍රණය කිරීම, මාරාන්තික අවි සහ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, මැෂින් තුවක්කු සහ විනාශකරී උපකරණ අමෙරිකාවට එරෙහිව භාවිතා කිරීම සඳහා ළඟ තබා ගැනීම සහ කුමන්ත්‍රණය කිරීම වැනි චෝදනා අයත් බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර අමෙරිකානු අත්අඩංගුවට ගෙන සිටින වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝව අමෙරිකාවට ගෙන යන අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසනවා.
ඔහු මේ වන විට අමෙරිකානු භාරයේ පසුවන බවත් වෙනිසියුලාව තුළ මින් ඉදිරියට තවදුරටත් මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නොවන බවත් ඔහු සඳහන් කරනවා.
අමෙරිකානු සෙනෙට් සභික මයික් ලී විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සමඟ පැවැත්වූ දුරකථන සංවාදයකින් පසුව මෙම තොරතුරු හෙළි වූ බවයි.
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසා ඇත්තේ මදුරෝ අමෙරිකාවට ගෙන යන්නේ ඔහුට එරෙහිව එරට පවතින අපරාධ චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග කිරීම සඳහා බවයි.
අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එදින රාත්‍රියේ හමුදාමය ක්‍රියාකාරකම් සිදු කළ බවද ලේකම්වරයා පවසා තිබෙනවා.
මෙම ක්‍රියාමාර්ගය අමෙරිකානු ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය යටතේ තම නිලධාරීන් හදිසි ප්‍රහාරයකින් ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාට හිමි බලතල අනුව සිදුවූ බව සඳහන්.
මදුරෝ වෙනිසියුලානු ජනාධිපතිවරයා ලෙස නොසලකන බවත් ඔහුගේ ආණ්ඩුව නිත්‍යානුකූල ආණ්ඩුවක් නොවන බවත් ඔහු ලොස් සොළොස් නැමැති මත්ද්‍රව්‍ය ත්‍රස්ත කල්ලියක ප්‍රධානියා ලෙස ඇමෙරිකාව හඳුන්වන බවද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මේ අතර වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ දැනට ජීවත්ව සිටින ස්ථානය සම්බන්ධව තම රජය නොදන්නා බව වෙනිසියුලානු උප ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් පවසනවා.
එරට රාජ්‍ය නාලිකාව අමතා විශේෂ ප්‍රකාශකයක් සිදු කරමින් ඇය මේ බව සඳහන් කළා.
ඇය එහිදී ඉල්ලා සිටියේ ඔවුන් ජීවත්ව සිටින බවට සාක්ෂි වහාම ඉදිරිපත් කරන ලෙසයි.
මේ අතර වෙනිසියුලාව තුළ පවතින සක්‍රීය මිලිටරි ක්‍රියාකාරකම් හේතුවෙන් අමෙරිකානු වාණිජ ගුවන් සමාගම්වලට අයත් සියලු යානා වෙනිසියුලා ගුවන් සීමාව භාවිතා කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට අමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම තහනම එරට වේලාවෙන් අද (03) අලුයම 2ට ප්‍රකාශයට පත් කර ඇති බවයි.
මෙය හෙට අලුයම දක්වා ක්‍රියාත්මක වෙන බවද අමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සඳහන් කරනවා.
එසේම මෙම නියෝගය අමෙරිකානු වාණිජ ගුවන් සමාගම්වලට පමණක් අදාළ වන බව වාර්තා වනවා.
කෙසේ වෙතත් මෙම තීන්දුව විදේශීය ගුවන් යානා හෝ හමුදා යානා සඳහා මෙය බලපෑමක් නොකරන බව සඳහන්.
වෙනිසියුලාව ගුවන් සීමාවට අමතරව ඒ අසල පිහිටි කුරකාඕ (Curacao) දූපත් ආශ්‍රිත ගුවන් සීමාව ද භාවිත නොකරන ලෙස ගුවන් නියමුවන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
මේ අතර අමෙරිකාව විසින් වෙනිසියුලාව ජනාධිපති සහ ඔහුගේ බිරිඳ දෙදෙනාම අත්අඩංගුවට ගෙන ගුවන් මඟින් වෙනිසියුලාවෙන් පිටතට ගෙන ගිය බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
වෙනිසියුලාවේ කරකාස් අගනුවර ප්‍රබල පිපිරීම් මාලාවක් අද (03) උදෑසන වාර්තා වුණා.
ඉන්පසුව වෙනිසියුලානු ජනාධිපති නිකලොස් මදුරෝ අත්අඩංගුවට ගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කරනවා.
සිය 'Truth Social' ගිණුම හරහා ඔහු සඳහන් කළේ මෙය අද (03) අලුයම අමෙරිකානු හමුදා විසින් වෙනිසියුලාව වෙත එල්ල කරන ලද මහා පරිමාණ ප්‍රහාරයක ප්‍රතිඵලයක් බවත් මෙම මෙහෙයුම අමෙරිකානු නීතිය බලාත්මක කිරීමේ අංශ සමඟ ඒකාබද්ධව සිදු කර තිබූ බවත්ය.
මෙම මෙහෙයුම පිළිබඳ වැඩිදුර විස්තර ලබාදීම සඳහා අද (03) පෙරවරු 11ට ෆ්ලොරිඩාවේ මාර්-ඒ-ලාගෝ හිදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.