පීඩන අවපාතය ඉදිරි පැය 24 තුළ නැගෙනහිර වෙරළට ළඟා වෙයි
Local • Published on: 2026-01-08 02:10:26
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත පවතින පීඩන අවපාතය ඊයේ (07) රාත්‍රී 11.30 වන විට පොතුවිල් සිට 490KMක් ගිනිකොණ දෙසින් අක්ෂාංශ 5.3°N සහ දේශාංශ 86.0°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුනා.
එය බටහිරට බර වෙමින් ඉදිරි පැය 24 තුළ වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟා වනු ඇති බව අපේක්ෂා කරනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළ ගැඹුරු අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින බවයි.
අද (08) දින සිට නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැලකී සිටින ලෙස ද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධව නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වනවා.
සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. 35 - 45ක පමණ වනවා.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60-70ක් දක්වා ඉහළ යා හැකි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු සිට ඉතා රළු විය හැක.
මේ අතර කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 - 3.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතිනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි වන අතර එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.