×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 230ක් දුරින්

Local  •  Published on: 2026-01-08 16:02:28

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්කෙහි පවතින ගැඹුරු පීඩන අවපාතය අද (08) සවස 8 වන පමණ වන විට පොතුවිල් සිට කිලෝමීටර් 230ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටා ඇති බව වාර්තා වනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ නිරතදිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (09) දින පස්වරු 5.30 සිට රාත්‍රී 11.30 දක්වා කාලය තුළ හම්බන්තොට සහ මඩකලපුව අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

මෙහි බලපෑම හේතුවෙන් අද (08) දින සිට දිවයිනේ විශේෂයෙන් උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයේ පෙන්වා දෙනවා.

මේ අතර අද (08) දින සිට නැවත දැනුම් දෙන තෙක් දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැලකී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධව නිකුත් කරන ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවට දැනුම් දෙනු ලබනවා.

මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වනවා.

සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. 35 - 45ක පමණ වනවා.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60-70ක් දක්වා ඉහළ යා හැකි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු සිට ඉතා රළු විය හැක.

මේ අතර කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 - 3.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි වන අතර එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.