ගැඹුරු පීඩන අවපාතය ගැන කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
Local • Published on: 2026-01-09 03:33:47
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) අලුයම 4 වන විට මඩකලපුවේ සිට කිලෝමීටර් 200ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටා තිබුණා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කර අද (09) සවස් කාලයේ දී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින අතර උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
අනෙක් ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
උතුරු, උතුරු මැද පළාත්වල සහ මාතලේ, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.
මහනුවර, නුවරඑළිය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50 - 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි වනවා.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, ගම්පහ සහ කොළඹ. දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකියි.
මේ අතර කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 - 3.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතිනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි වන අතර එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
මේ අතර ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ එය මි. මී. 38ක අගයක් බවයි.
අනෙක් ස්ථානවල වර්ෂාපතනය මි. මී. 10ට අඩු මට්ටමක පැවති අතර ඒ හේතුවෙන් ගංගාවල ජල මට්ටම වැඩි වීමක් වාර්තා නොවන බවද ඔහු පෙන්වා දෙනවා.
මේ අතර ප්‍රධාන ජලාශ 73න් 28ක් මෙන්ම මධ්‍ය ප්‍රමාණයේ වැව් 22ක් තවමත් වාන් දැමීම සිදු වෙමින් පවතිනවා.