හරිනිට අධ්‍යාපන ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් විමල්ගෙන් උපවාසයක්
Local • Published on: 2026-01-10 16:34:31
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමට අධ්‍යාපන අමාත්‍යවරියට ඉල්ලා අස්වන ලෙස බල කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා තීරණය කර තිබෙනවා.
හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ ලබන 12 වන සඳුදා උදෑසන 9 සිට මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කරන බවයි.
මෙම අඛණ්ඩව සත්‍යග්‍රහයට දරුවන්ට ආදරය කරන සියලුම දෙමව්පියන්ට කිසිඳු භේදයකින් තොරව එක්විය හැකි බවද ඒ මහතා පවසනවා.
අද (10) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ දරුවන්ට අවස්ථාවක් දෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවට දරුවන්ට නිසි අවස්ථාව නොලැබෙන ප්‍රතිසංස්කරණ මඟින් හඳුන්වා දී ඇති බවයි.
මෙම ප්‍රතිසංස්කරණ සිදු කරනු ලබන්නේ සම්පුර්ණයෙන්ම ජාවාරමක් ලෙස ද ඔහු මෙහිදී කියා සිටියා.
හිටපු අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඊට අමතරව දරුවන්ගේ අනාගතය විනාශ කිරීමේ වැඩපිළිවෙල ද මෙම ප්‍රතිසංස්කරණවලට එක්ව තිබීම ඉතා බරපතල කරුණක් බවත් මේ ගැන මුළු රටේම දැඩි අවධානය යොමු කර දරු පරපුර බේරා ගැනීමට කටයුතු කළ බවත්ය.
අසැබි වෙබ් අඩවි සහ අසභ්‍ය Youtube නාලිකා ඇතුළත් කරමින් මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම ඉතා බරපතළ තත්ත්වයක් බවත් මෙමඟින් සිදු කිරීමට සැලසුම් කරන්නේ තාක්ෂණික මෙවලම් වැඩිපුර පරිහරණයට යොමු කර මුදල් එක්රැස් කිරීමේ මහා ජාවාරමක් බවත් ඔහු සඳහන් කරනවා.
ඒ මහතා කියා සිටින්නේ මෙම තත්ත්වයෙන් පිළිබඳව සමාජයේ විද්වතුන්ගේ ද වැඩි අවධානයක් යොමු විය යුතු බවයි.
මෙම මොඩියුල්වලට වෙබ් අඩවි ඇතුළත් කිරීම නිසා එම වෙබ් අඩවිවලට ලක්ෂ ගණනක් පිවිසෙන බවත් එමඟින් මුදල් සොයා ගැනීමේ විශාල ජාවාරමක් පවතින අතර එම මුදල් යන්නේ කාටදැයි සොයා බැලීමද ඉතා වැදගත් වන බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කරනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් විරවංශ මහතා, "පාසැල් දරුවන්ට විශාල වශයෙන් බලපාන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කරන විට එය ඉතා පරෙස්සමෙන් සිදු කරන්න ඕන. නියමු ව්‍යාපෘති වැනි දේවල් සිදුකර විද්වතුන්ගේද විශාල සංවාදයක් ඇතිකොට රටට සහ දරුවන්ගේ අනාගතයට මෙන්ම නවීන ලෝකයට ගැලපෙන පරිදි ඉතා පරිස්සමෙන් සකස් කළ යුතු උනත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙසේ කඩුමුඩියේ සකස් කිරීම නිසා මෙවැනි සමාව දිය නොහැකි වැරැද්දක් වනවා".